කෝවිල අයිනේ ඉස්කෝලේ වැඩකරන දවසට මන් ගෙදර එන්නේ හොඳටම හවස්වෙලා..
එහෙම දවසට මන් ගෙදරින් යන්නේ ,
පොත් ටික වගේම ශිවාත් එක්ක නාන්න රෙදිත් අරගෙනමයි ..
ඒත් ඒ කිසිම දවසක ,
ශිවා කෝවිල අයිනට පොත් අරගෙන ආවේ නෑ..
හැමදවසකම මන් ඔහුගෙන් පොත් ගැන විමසුවත් ඔහු මට කීවේ එළුවොත් එක්ක පොත් පරිස්සම් කරන්න අමාරු බව විතරමයි .
ඒ වෙලාවට එයාගේ අතේ තියෙන්නේ,,
එළුවන්ට තට්ටු දාන කෙවිට විතරයි ..
සීනක්කාගේ එළුවො ටික හැමදාම හවසට කොටුවට ඇරලවන්නේ ශිවා ..
මමත් දවස් දෙකතුනක්ම ශිවා එක්ක එහෙ ගිහින් තිබුණත් අර ලොකු අං තියෙන මහ එළුවට මන් බය නිසා ශිවා ආයේ මාව එහෙ එක්ක ගියේම නෑ..
එක දවසක් ඒ එළුවා නිසා මන් නතර උනේ කෝපි ගහක් උඩ..
එදා නම් අපි හුඟක් හිනා උනා මට මතකයි..
ශිවා මට ආපහු එන ගමන් කීවේ එළුවන්ටත් ගස් නඟින්න පුළුවන් කියලයි.
එහෙ ගිය දවසක අපි සීනක්කා ලැවරියා වලට දාන්න හදපු පැණිපොල් එක්ක එළු කිරි බීවා මට මතකයි..
ශිවා නම් එක හුස්මට බීගෙන බීගෙන ගියේ පුරුදු කාරයෙක් වගේ..
මට නම් එදා වමනෙත් ගියා..
ආපහු එන මඟ දිගට ශිවා මට විහිළු කළා ..
ශිවා නිසා හැමදවසකම ඉස්කෝලෙන් උගන්නන දේවල්වලට වඩා හුඟක් දේවල් මන් ඉගෙන ගත්තා..
මට හැමදාම ඕනි උනේ ශිවාගේ අක්කා වගේ දෙමළ කතා කරන්න..
ඒත් ශිවා මටත් වඩා හොඳට සිංහල කතා කරපු නිසාම මට ශිවා කියන්නේ දෙමළ ළමයෙක් කියලා අමතක වෙලයි තිබුණේ ..
ඉතින් කිසිම දවසක මට ශිවාගෙන් දෙමළ ඉගෙනගන්න බැරිවුණා ..
නිවාඩු දවසට ශිවට වගේම මටත් හුස්මක් ගන්න බැරිතරම් වැඩ..
අපි දෙන්නගේ වැඩේම ඇවිදින එක..
උදේම නැඟිටලා මූණ සෝදගෙන ,
කන්න තියෙන දේකුත් කැන්ද කොළවලම ඔතාගෙන මන් යන්නේ ලැයිමට..
එහෙම ගිය හුඟක් දවස්වලට මට ශිවා හොයන්න රබර් වත්තට යන්න උනේ ශිවා එයාගේ අම්මා එක්ක කිරි කපන්න ගිහින් හිටපු නිසා..
අම්මා කිරි කපලා ඉවර වෙනකන් මායි ශිවයි කළේ රබර් ගස් වටේට දුවමින් සෙල්ලම් කරන එකයි..
කූඩැල්ලෝ කොයිතරම් හිටියත් උන් අපේ එල්ලුනේ නැති තරම්..
ශිවා නම් කීවේ උන් සේරම ශිවා අඳුරන අය කියලයි..
අම්මා කිරිකපලා ඉවර උනාම කිරි පනිට්ටුවත් අරගෙන අපි ඔය දිගේම ස්ටෝරුව්ට යනවා..
කිරි ටික දීලාඑන්න..
ශිවා කිරි දීලා එනකම් මම පාර අයිනට වෙලා හිටගෙන ඉන්නේ ඊළඟට අපි කරන දේවල් හිතන ගමන්මයි..
කිරි ස්ටෝරුව කිට්ටු වෙනකොට එන අමුතු කුවිල ආපහු ඔයට ගිහින් නානකන්වත් නහයෙන් මෑත් වෙන්නේ නෑ...
....................................................................................
ඉවර නෑ..
(සූSuuu )🖤🙂