ශිවා (Ep 03)
- Details
- Dinesh Thilina
- Shiwa
- Hits: 525
ස්ටෝරුවේ අයිනේ තිබ්බ කාණුව විවෘත වෙලා තිබ්බේ පාරටමයි..කාණුවක් කීවට එහෙම ලොකුවට කපපු කාණුවක් තිබ්බේ නෑ..
කිරි පාට දිය සීරාවක් ස්ටෝරුව ඉස්සරහ තිබ්බ පාරෙන් පාර අයිනේ රබර් කණ්ඩියට හැම මොහොතකම එකතු උනා..
ඉතින් ස්ටෝරුව ළං වෙනකොට එන ඒ සැර කුවිල නිසා ගමට අලුත් අයෙකුට උනත් රබර් ස්ටෝරුව ළඟ බව හැඳින ගන්න ඒක උදව් වෙන්නැති ..
ශිවා රබර් කිරි දීලා එනකම් මන් හිටියේ හරිම අපුලෙන්..
ස්ටෝරුව ඉස්සරහින් රබර් කණ්ඩියෙන් පහළට බැස්සාම ඔයට යන්න අඩි පාරක් හැදිලා තිබුණා..
ඒ පාරේ වැඩිපුරම තියෙන්න ඇත්තේ මගෙත් ශිවාගෙත් අඩි ..
ඔයට බහිනකම් ශිවාගේ අතොරක් නැති කතාවලින් මට ඉගෙනගන්න බොහෝ දෑ තිබුණා ..
කොටින්ම් ශිවා බොරුවක් කීවත් මන් කට ඇරන් අහන් හිටියා..
හැබැයි කවදාවත් ශිවා මට බොරු දේවල් කියලා දුන්නේ නෑ..
අත්තම්මට පස්සේ මගේ දැනමුත්තා උනේ මගේ ශිවා..
ඉස්කෝලේ වැඩ නැති දවසට අපි දෙන්නට කරන්න දේවල් එමට තිබුණා ..
ඔය ඉවුරට එකතු වෙලා තිබ්බ පාට පාට රවුම් ගල් එකතු කරන එක අපි දෙන්නගෙම පුරුද්දක් ..
ඒකට මටනම් අත්තම්ම පිටියේ පොළෙන් ප්ලාස්ටික් බාල්දියක් ගෙනත් දීලා තිබ්බා..
ඒත් ශිවා ගල් එකතු කරේ එයාගේ අප්පගේ පරණ හම් බෑග් එකකට..
හම්බෙන හැම ලස්සන පාටක ගලක්ම ශිවා දැම්මේ මගේ බාල්දියට..
හුඟක් දවස් වලට හවස තුන හතර වෙනකන් කවුරුත්ම ඔයට එන්නේ නෑ..
අපි දෙන්නට හිතූ මනාපෙට සෙල්ලම් කරන්න ඉඩ එහේ තිබුණා ..
හැබැයි ලොකු අයියලා ඉසි බෙහෙත් දාලා ඉස්සෝ අල්ලන දවස්වලට නම් ඔය ඉවුර දිගටම අයියලා හිටියා..
අපේ ගමේ අය ඇරුණාම වෙන ගම්වලිනුත් අය ඒ දවස්වලට එනවා..
ඉසි බෙහෙත් වැලිවලට කළවම් කරලා දාපුවාම ටික වෙලාවක් යනකොට ඉස්සෝ ගොඩට ගහන්නේ රා බීපු දාට බාප්පා යන යන තැන වැටෙනවා වගේමයි..
උන්ට හොඳටම වෙරි...
ඉසි බෙහෙත් කලවම් කරලා ටික වෙලාවක් ගියාම ඔය දිගේ ඇවිද්දාම වේල් දෙක තුනකට ඉස්සෝ එකතු කරගන්න පුළුවන් ..
ඒ වගේ දවසට ගමේ හුඟක් ගෙවල්වල දවල් බතට ඉස්සෝ වරදින්නේ නෑ..
ලොකු ඉස්සෝ වගේම පොඩි පැටවුනුත් මත් වෙලා ඉවුරට ගහනවා..
එදාට මටයි ශිවාටයිත් වෙන වැඩක් නෑ..
අපි දෙන්නත් මගේ ප්ලාස්ටික් බාල්දියට වතුර පුරවන් ඉස්සෝ එකතු කරනවා..
හැබැයි අපි එකතු කරන්නේ පොඩි පැටව් විතරයි...
ඒත් කන්න නෙවෙයි ..
අපි උන්ට සිහිය එනකම් වතුර එකට දාලා හෙවනක තියලා බලන් ඉන්නවා..
හුඟක් එවුන් සිහිය ආව ගමන් බාල්දියෙන් එළියට පනිනවා.
සිහි නැතුව ඉද්දි අතින් ඇල්ලුවාට ඒ වෙලාවට නම් මන් අං තියෙන මහ එළුවට තරම්ම ඉස්සෝ පැටව්න්ටත් බයයි...
...................................................................................
ඉවර නෑ..
(සූSuuu )

