🌹 හයවන කොටස🌹

මම තවත් එක් අවාසනාවන්ත බිරිඳක් වෙමින් සිටියෙමි.. සිය සැමියා ඔහුගේ ප්‍රේමවන්තිය සමඟ පෙම් සුව විදීමට යද්දී ඔහුගේ කලමනා මගේම දෑතින් සූදානම් කර දීමට තරම් මම අවාසනාවන්ත වෙමින් සිටියෙමි...
සිතුවිලි කඳුලු කැට වී කොපුල් හරහා ගලා යද්දි වෙනදා මෙන් ඒවා සඟවන්නට මා හට උවමනාවක් නොවිණ..
ඔහුගේ දෙපා මුල වැටී යන්නට එපා යැයි අයදින්නට සිතුනු වාර බොහෝය..එහෙත් පලක් නොවන බව මා හොඳාකාරව දැන සිටියෙමි..

"තමුසෙ ලග සල්ලි නැද්ද කියක් වත්.."

මා ගැස්සී ගියේ සම්පත්ගේ හඬටය..

"මොකද ගෑණියෙ හැම වෙලෙම ගැස්සෙන්නෙ.. යකො මන් උඹේ මිනිහ හොර මිනිහ නෙමේ.."

ඔහුගේ වදන් හදවතට යවුලකින් අනින්නා සේය..එහෙත් ඔහුට ගණනක් වත් නොමැත..

"ම්.මන් ලඟ සල්ලි කොහෙද.."

ඔහුට පිටුපා කොපුලේ තවමත් ඇදෙනා කඳුලු කැට පිටි අල්ලෙන් පිස ගනිමින් මා කීවේ නොරිස්සුම් හඬිනි..ඔහුට ඔහුගේ පෙම්වතිය හා විනෝද වීමට මා මගේ දුක් මහන්සිය පුද දෙන්නේ කුමකටද.. කෙදිනක හො ඔහු අප හැර ගියහොත්..මා සියල්ලටම සූදානම්ව සිටිය යුතුය..
ඔහු තව දුරටත් මා සමඟ සිටීමේ එක්ම හේතුව තෙහංසාය..මාගේ වාසනාවට ඔහුගේ පෙම්වතිය තෙහංසාට කිසිම අයුරකින් කැමැත්තක් නොදක්වූවාය..ඈ තෙහංසාට කැමති වූවානම් මා හට ඔහුත් තෙහංසාත් නැති වී බොහෝ කල්ය..

"ඇයි ඔය මඩිගහගන්න ඒවට මොකද වෙන්නෙ.."

"මේ සම්පත්..මන් එහෙම හරි තියාගෙන ඉන්න හින්ද තමා මායි මගෙ දරුවයි ජීවත් වෙන්නෙ ... ගෑණියෙක් දරුවෙක් ඉන්න මනුස්සයෙක් විදියට ඔයා හැසිරෙන්නෙ....දැන් මේ යන ගමන...මන් දන්නෙ නෑ හිතුවද සම්පත් මම දන්නව හැමදේම මම දන්නව...ඇයි ඔහොම කරන්නෙ...මන් මොනවද ඔයාට කරපු වැරැද්ද කියන්න..කොහෙද අපිට වැරදුනේ...අපි ..අපි..කොච්චර සංතෝසෙන් හිටියද..ඔයයි මමයි දුවයි... ඔයාට මතකද...ඕක කරන්න එපා රත්තරන් ...මට ඔහොම කරන්න එපා...."

ඔහුත් මමත් නොසිතූ ලෙස නොසිතූ වෙලාවක හදවතේ තිබූ සියලු වේදනාවන් එක්වරම ඔහු පාමුල මා මුදා හැරියේ තව දුරටත් මේ සියල්ලක් ඉවසා දරා සිටිම යුතුදැයි මගේ සිත මගෙන්ම අසන්නට වූ නිසාය...

එහෙත්... ගල් උණුවනවා ඔබ කොයි මොහොතක හෝ දැක තිබේද...ඔහුද එසේමය..ඔහු ගලක් වී හමාරය..එය මාගේ වැරැද්දෙන්දැයි මම නොදනිමි..මා වචනයේ පරිසමාප්තියෙන්ම බිරිඳක් නොවන්නට ඇත..මා අතින් යම් යම් අඩුපාඩු සිදුවන්නටද ඇත...තෙහංසා ඉපදී මුල් මාස කීපය මට බොහෝ අසීරු විය...
නිවෙස් වල දැඩි විරුද්ධත්වය මත විවාහ වූ අප දෙදෙනාට අපේ කියා කිසිවකුත් නොවීය...
මා බිරිඳක් මවක් සදහා බොහෝ ආදුනික වූයෙමි.. එහෙත් සම්පත් මට බොහෝ දිරියක් වූ බව නොකියාම බැරිය..ඔහු මගෙන් ඈත්ව යන්නට මාද එක් හේතුවක්ද කියා මට නොසිතුණු වේලාවක් නොමැති තරම් විය...එහෙත් මා අදටත් ඔහුට දැඩි සේ ආදරය කරනා බව නම් කිව යුතුමය...
මට වචනයක් හෝ නොකියු ඔහු..සිය ඇඳුම් බෑගයත් රැගෙන නිවසින් පිටවූයේ කිසිඳු හිත් පිත් නැත්තකු ලෙසය...

"සම්පත්!!...මට ඔහොම කරන්න එපා දෙයියනේ ..."

කාමරයේ බිම වැතිරී මම මහ හඬින් මොර දෙන්නට වූයේ තෙහංසා ගැනවත් නොසිතාය...

"අම්මී...තාත්ති දාල ගිය හින්ද අම්මිත දුකයිද...අම්මි..."

ඒ මෘදු දෑතේ ස්පර්ශයෙන් මගේ සියලු වේදනා නිම වූවා සේ විය....

"නෑ මගෙ පැටියෝ ...අපි යන්කො ලස්සන බටර්ෆ්ලයි කෙනෙක් තෝරන්න ඔයාගෙ ශනාලිට..ශනාලි වගේම ලස්සන බටර්ෆ්ලයි කෙනෙක්...ම්ම්ම්...යන් යන්..."

කිසිදාක නොවිරු ලෙස තෙහංසා මා දෙස බලා උන්නාය ඒ සිඟිති සිතෙහි කුමක් නම් තෙරපෙන්නට ඇත්ද..

"ඇයි පැටියෝ..."

"එක පාල අඩන්නයි හිනාවෙන්නයි කෝමද අම්මි පුලාන් උනෙ අම්මිට..."

ඒ පුංචි මුවෙන් පිටවෙනා වචන හදවත් බොහෝ සේ පෙලන්නේය...

"පැහිච්ච ආච්චි අපි යම්කො..."

ඉතින් සියල්ල අමතක කර මමත් ඇයත් අපේ ලෝකයේ තනි වීමු....

පසුදා උදෑසන මම වෙනදාට වඩා කාර්‍ය බහුල වූයේ තෙහංසා කැටුව යා යුත්තේ මා වූ බැවිනි...
නිවසින් එලි බහින්නේ බොහෝ කලකට පසුවය...
හැකි ඉක්මනින් උයා පිහා තෙහංසා ද කැටුව පෙර පාසලට ගිය මම ඇගේ පංති බාර ගුරුතුමිය සමඟද සුහද කතා බහක නිරත වූයෙමි..බොහෝ දෙනකු මා දැක නොතිබුනද තෙහංසා ගේ මව කියු සැනින් ඔවුන් මා හඳුනන බවක් පෙනින...ඒ ඔවුන්ගේ දු පුතුන් බොහෝ දෙනෙකුගේ උපන්දින කේක් මා අතින් නිමවී ඇති හෙයිනි...
සියල්ලන් සමඟ කතා කර සියල්ලන්ටම සමු දුන් මම...මගේ තීරණාත්මක කඩයිමට පැමිණියෙමි...
අඩියෙන් අඩිය මා ඇහිබැම සකසන රූපලාවන්‍ය මධ්‍යස්ථානයට කිට්ටු වූ මම දකුණතින් කොන්ද දක්වා දික් වූ මගේ කොන්ඩය අත ගෑමි...
කුඩා කල සිටම මට නීරෝගී කෙස් කළඹක් හිමිව තිබුණි.. සම්පත් මගේ කෙස් කළඹට බොහෝ සේ අලුම් කළ කාලයක් තිබිනි..එහෙත් දැන්...එය ඔහු මා හට රිදවන ආයුධයක් කර අවසන්‍ ය...එය තවත් විඳවිය නොහැක...ඔහු සිය වමතින් මගේ කෙස් වැටිය අඹරන විට..හිස් කබල පවා ගැලවීමට තරම් වන්නේය...ඉදින්.....කෙස් කළඹ...ඔබ කොතරම් සුන්දර වූවත් මට පලක් නොවේ....සමු දීම වේදනා විදීමට වඩා හොඳය...
තිර අදිටනින් යුතුව මම රූපලාවණ්‍ය මධ්‍යස්ථානයට ගොඩ වූයෙමි....

"එන්න මිස්..මොක්ද්ද වෙන්න ඕන..."

"සමාවෙන්න මම කලින් එපොයිමන්ට් එකක් නම් දැම්මෙ නෑ.."

"ආ...ඒකට කමක් නෑ...මේ වෙලේ මම ෆ්‍රී..."

"ම්.මගෙ...කොන්ඩෙ...මේ...ඒක...කපන්න ඕන...කොටටම..."

මා පවසද්දී නියත වශයෙන්ම මගේ දෑස් කඳුලින් තෙත් වන්නට ඇත...මා අබියස සියල්ල බොඳ වි යන්නට ඇත්තේ ඒ නිසාය....