සිහින පියාපත් 14
- Details
- සමීරා අනුරංගනී
- Sihinapiyapath
- Hits: 289
දහ හතර වන කොටස
දුරකථනය නොනවත්වා නාද වීම මට මහත් හිසරදයක් විය..පෙරදා රැයේ ඇදුම් උනා නොදමාම ඇලවු මමත් තෙහංසාත් තවමත් ඇදේය...දුරකථනය වෙත පා ඇදෙද්දීම ඔරලෝසුව වෙත නෙතු යැවු මම එහි වේලාව නමය ලෙස සටහන්ව තිබෙනු දැක මද සිනාවක්ද පෑවෙමි..ඒ කිසිම දිනක මා මෙතරම් පමා වී නැඟිට නැති නිසාමය..ජීවිතය අලුත් විය යුතුය..මට මුල් වරට සිතුනි..ඒකාකාරී දිවියට දැං නම් සමු දිය යුතුමය.. රොබෝවක් සේ කාලසටහනටම නියම වී ඇති ජීවිතය නවමු මාවතකට හරවා ගත යුතුමය .. එයින් මගේ සිතෙහි ඇතිවන මේ ව්යාකූල හැඟුම් මැඩ ගැනීමට හැකිවනු ඇත... "හෙලෝ..." "දෙයියනේ අනූ වෙයාර් හෑව් යූ බීන්..." "අනේ සොරි ඩියර් දැන් ඇහැරුනේ දෝණිටයි මටයි නින්ද ගියා.." කතා කලේ ශෙනාලිගේ මවට..දිය යට ගිල්වන රබර් බෝලයක් සේ අමතක කරවන..අමතක කරවන්නට තැත් කරන මතක යලි යලි ආවර්ජනය වන්නේය... "ඒකනෙ අනේ මන් බැලුවෙ..මට හිතුන අපේ නොසංඩාලයවත් මොකක් හරි ඔන නැති වැඩක් වත් කලාද කියල ..." "අනේ නෑ අහස් එහෙම කෙනෙක් නෙමේ.." "ඒ කිවුවෙ........??" හොරාට පෙර කෙසෙල් කැන වැට පැන්නේය.. "න්.නෑ මේ මන් කිවුවෙ...එහෙම මොනවත් උනේ නෑ කියල අනේ..." "ම්ම් ඒක මිසක් කොහොමත් දැන් ඒ.කරදරේ ඉවරයි ..." "ඒ..ඒ..කිවුවෙ ..." "මිනිහ උදේ ෆ්ලයිට්.එකෙන් ආයෙ රට යනව..." හිසේ සිට පාදාන්තය දක්වා හිරියක් එක් වරම දිව ගියේය.... "ඇ.අයි ඉතිං හදිසියෙම...අහස්..කැමතිද යන්න" මට උවමනා එයයි... "මුලින් මුලින් අකමැති උනා අනෙ පස්සෙ එයාම කිවුව ආයෙ යනව කියල මං උනත් ආස නෑ අනෙ එයා මෙහෙ ඉදන් නාස්ති වෙනවට..හොඳ අනාගතයක් තියන කොල්ලෙක්..." එය කනේ පහරක් සේ දෙසවන් පසාරු කරගෙන විත් හදවත පතුලේම ලැගුම් ගත්තේය.. "ඔව්ව්...ඒක හොදයි.." අමාරුවෙන් වචන ගැටගසාගත් මට උවමනා වූයේ හැකි ඉක්මනට දුරකතනය තැබීමටය.. එහෙත්.. "ෆ්ලයිට් එක හවසද..." තව එක් වතාවක් ඔහු මුණ ගැසීමේ දඩබ්බර සිතුවිල්ලක් හදට ආවේය.. "එකොළහයි විස්ස කිවුව..කලින් යන්න එපෑ ඉතිං ඒ උනාට..." දෑස් ඔරලෝසුවට යොමු වූයේ හොරාටමය... "දෝණි ඇහැරල මං එහෙනං තියන්නම්.." ඈ හා හෝ තව යමක් කීමට හෝ පෙරම දුරකථනය තැබූ මම වහා දිව ගියේ අල්ලපු නිවසටය.. "අනෙ අක්කෙ මට පොඩි හදිසියක් වෙලා දුව නිදි ඇහැරුනොත් පොඩ්ඩක් බලනවද..අනේ පුලුවන් නේද..." තෙහංසා අසල්වැසි කාන්තාවට බාර දුන් මම යන්තම් වතුර පොඳකින් මුව දෝවනය කර වහා පාරට පැන්නෙමි.. ඒ සමඟම ආ ත්රීරෝද රථයකට අත දැමූ මා වහා එයට ගොඩවීමි.. "පුලුවන් තරං ඉක්මනට එයර්පෝට් එකට යං.." "නෝන හයර් එක නං ........." "සල්ලි දෙන්නම් කීය උනත් යං ඉක්මනට .." ජංගම දුරකථනයක අඩුපාඩුව මට ප්රථම වතාවට උවමනාවටත් වඩා දැනෙන්නට විය.. "අයියෙ කෝල් එකක් ගන්න ෆෝන් එක පොඩ්ඩක් දෙන්න පුලුවන් ද..." සම්පත් ඉදිරියේවත් කිසිවකට බැගෑපත් නොවූ මම නන්නාඳුනන ත්රීරෝද රථ කරුවෙක් ඉදිරියේ බැගෑපත් වෙමින් සිටිමි... "අනේ නෝන ෆෝන් එකේ සල්ලි නෑ නෝන කෝල් එකක් ගන්න තරම්..." ඔහු මට වඩා අසරණය ... "හරි හරි ඉක්මනට යංකො...එහෙනං" වාහන තදබදය විනාඩියෙන් විනාඩිය අප ගමන බාල කරන්නට විය...පැයක් එකහමාරක්..එහෙත් තවමත් මගය... "අනේ දෙයියනේ...පරක්කු වෙන්න ෆ්ලයිට් එක පරක්කු වෙන්න..." කල හැකි එකම දෙය මම හදවතින්ම කලෙමි...එහෙත්.....දෙවියන් මට කරුණාවන්ත නොවීය..මා ගුවන්තොටුපලට යන විටත් එකොළහමාර පසුව තිබුණි... දෙනෙතින් වැටෙනා කඳුලු කැට කොපුලට බොහෝ සේ බර වීය..එහෙත් තවත් මොහොතක් නැවතී විපරම් කලෙමි.. වහා දුරකථන කුටියකට ගිය මම ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගත්තේ මාගේ අවසාන බලාපොරොත්තුව එය වූ බැවිනි... පැතුම් බලාපොරොත්තු සියල්ල බොඳ කරමින් එය ක්රියා විරහිත කර තිබුණි...මා හැසිරුනේ පිස්සියක සේය..එය කුමක් අරඹයාද කියාවත් අහස් නැවත හමුවන්නට තැත් කරන්නේ ඇයි කියාවත් නිශ්චිත අරමුණක් හදවතෙහි නොවූ නමුදු මට ඔහු හමුවන්නටම අවැසි විය..කෙසේ හෝ තවත් එක් වතාවක් ...එහෙත්.......... "නෝනා මගෙ හයර් එක...නෝනට මොකක් හරි කරදරයක්ද.." ඔහුටද ප්රශ්න රාශියකි කේන්තිය දෙගුණ තෙගුණ වන්නේ මෙවන් ප්රශ්න නිසාය.. "අපි යං.." කිසිත් නොකියූ මම නැවත ත්රීරෝද රථයට නැගීමි... වාන් දැම්මා සේ පෙලින් පෙල කඳුළු අලුත් වෙද්දී මම පිටි අල්ලෙන් ඒවා නැවත නැවතත් පිස දැමීමි.. නාට්ය ජවනිකාවක් සේ අහස්ගේත් මගේත් හමුවිමේ සිට සියල්ල පෙලින් පෙලට මා ඉදිරියේ දිගහැරෙද්දී ...දෙනෙත් වල වූ කඳුලෙන්ම නැවතත් ඒවා බොඳව යන්නට විය.. හිත තුළ මෝරා ආ ආදරයේ පැතුම් උපන් ගෙයිම මිය ඇදෙද්දී මහා සුසුමක් වාතලයට මුදා හැරි මා.... 'ඉදින්..යළි ජීවත් වෙමි...මළ කඳක් සේ...' මටම මතුරා ගතිමි........................